අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශයේ, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාර/ අතුරලිය මහා විද්‍යාලයේ අතුරලිය ප්‍රදේශයට ලැබුණ වටිනා සම්පතකි. 1865 වසරේදී එක් කුඩා ගොඩනැඟිල්ලක සුබ මොහොතින් ආරම්භ කරන ලද මේ පාසල මේ වනවිට වසර 157ක දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ. ඓතිහාසික ගොංගල කඳු මුදුනෙන් ආරම්භ වී මාතර මෝය කටෙන් මහ මුහුදට ගලා බසින නිල්වලා ගඟ ඉදිරිපස අතුරලිය ගම් පියසේ මනරම් පරිසරයක ස්ථාපිතව ඇති විදුහල කටුමැටි ගැසූ එක් කුඩා ගොඩනැඟිල්ලක් පමණක් තිබී ඇත. එකල පාසල් භූමියේ අශ්ව ගාලක් පවත්වාගෙන යනු ලැබූ බවත්, වර්තමානයේ ක්‍රීඩා පිටිය සඳහා භාවිත කරන ලද භූමිය සුසාන භූමියක්ව පැවති බවත් සඳහන් වේ.
සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් වැදි ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ නියමුවකු මෙන්ම 1931 වසරේදී ස්ථාපිත වූ ලංකාවේ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ (ප්‍රථම පාර්ලිමේන්තුව) අකුරැස්ස මැතිවරණ කොට්ඨසය නියෝජනය කළ මන්ත්‍රීරීවරයා වූ දොස්තර සූගීෂ්වර අබේවර්ධන වික්‍රමසිංහ මහතා මූලික අධ්‍යාපනයට පා තැබූ විදුහලද අතුරලිය මහා විද්‍යාලයයි.ඔහුගේ නිජ භූමිය වන නස්නාරංකැටිය වලව්ව පිහිටා ඇත්තේද විදුහලේ සිට මීටර් කිහිපයක් නුදුරිනි. 1940.03.13 දින ආරම්භ කළ ඉරු දින බෞද්ධ පාසල නාම ලේඛනය ලකුනු කිරීමෙන් ස්ථිර ලෙස වැඩ පටන් ගන්නා ලද අතර 1972.02.12 දින ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වය තුළින් ක්‍රීඩා භූමියක් සකස් කර ඇත. 1972.12.01 දින 80”x 20’’ අකුරැස්ස ගරු රාජමන්ත්‍රී දොස්තර S.A.වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්න ව විදුහල් ගොඩනැගිල්ලක් සඳහා මුල් ගල් තැබීම සිදු වී ඇත. 2000.05.09 දින නව පුස්තකාලය විවෘත කිරීම සිදුවී ඇති අතර 2006.03.20 දින විදුහලේ නව බුදු මැදුරට මුල් ගල තැබීම සිදු වී ඇත. 2014.07.04 දින ක්‍රීඩා මණ්ඩපයට මුල්ගල තැබීම සිදුවී ඇත. 2017.03.27 දින ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ඨ්හානයට මුල්ගල තැබීම සිදු වී ඇත. 70 දශකයේදී අකුරැස්ස කලාපයේ (එකල අකුරැස්ස මණ්ඩලය) අන්තර් විද්‍යාලීය මලල ක්‍රීඩා තරගයන් පැවැත්වූයේද අතුරලිය විදුහල් ක්‍රීඩා පිටියේය.
1865 දී පාසල ආරම්භ වී ඇති නමුත්, ලිපි ලේඛණ සාක්ෂි අනුව විදුහලේ ඉතිහාස සටහන් පෙන්වා දෙන්නේ 1942 පෙබරවාරි 09 වෙනි දින සිටයි. එදින සිට මේ දක්වා වර්තමාන විදුහල්පතිනියද ඇතුළුව විදුහල්පතිවරුන් 24 දෙනෙකු මෙහි සේවය කර ඇති බව ඉපැරණි පොත පත පෙන්වා දෙයි. මාර/ අතුරලිය කණිෂ්ඨ විද්‍යාලය - මාර/අතුරලිය මිශ්‍ර පාසල , මාර/අතුරලිය මහා විද්‍යාලය, මාර අතුරලිය ජාතික පාසල ලෙස නාමයන් ලැබ ක්‍රම ක්‍රමයෙන් උසස් වී මේ තාක්දුරට පැමිණ ඇත.